සිත සිසිල්කරවනා
මද අන්ධකාර මෙයාමයේ
නෙතු නැවතුනා නිසංසලේ
පීත වර්ණ මල් ඇතිරූ මාවතේ අද්දරින්
නුඹ සිටියා නිසොල්මනේ.......
සංසාරේ ඈත දිනෙක
පුංචි මතකයක්
සිත අද්දර ඉඟි කෙරුවා
ඒ නිමේෂයේ
මල බැඳි ගරාදි වැටට උඩින් පැන
දිව ආව විලස ස්වප්නයක මැවේ.............
දූලි වැකුණු සඳලුතල කොණේ
මකුලු වියමනක දැවටී මසිත සිරවුණේ
දෑඟිලි පටලා මිමිණු ඒ වදන්
සවන් පුරා දෝංකාර දේ..........
රුව නොපෙනෙන කැඩපත අයිනේ
පාද සළඹ දැක ඉකිබිඳුනේ
හුරතලේට කොමළ වදන් දෙඩුව ඒ
පුංචි කැකුළ මතක මායිමේ
බිත්ති පුරා ලීව කුරුටු ගී
පොතු ගැලවී මැකී නොයේ..........
ලොවම නිදන රාත්රි යාමයේ
සඳ සෙවන විඳි මතක මැවී පෙනේ
අන්ධකාර මේ නිමේශයේ
සී මැඳුරු පුරා තනිය නොම දැනේ.....
සංසාර මතක බැඳුණු මේ ඉමේ
විඳි සුවය අතැර පිටුපා යන්නේ
වැසු කවුලු පියන්පත් නුඹ දෙවොලේ
මා මතක සදා කල් රකිනු මැනේ.
No comments:
Post a Comment