සබඳ ඔබ පිළිගනිමි.........ආදරෙන්.........මේ මතක දනව්වට


Saturday, August 28, 2010

“ඔබ ඔබම නොව මාය.”

පත් ඉරුවක වදන් වැලක

නෙතු අග රැඳි කඳුලු බිඳක
සෙවුවෙමි ජීවිතය...........


ලා දල්ලක ගුමුගුමුවක
ගුවන සරන විහඟ තුඩක
රළ පහරක .. සුළං රොදක
සෙවුවෙමි සැනසුම........

පිපෙන කුසුමක වන ලැහබක
තුරු ගොමුවක... ලතාවෙක
හරිත වන පීරමින්
සෙවුවෙමි වින්දනය.....

දිය දහරක.. මසුන් රැළක
මුදු මල් පෙති ඕවිල්ලක
සයුරු තෙරක වැලි කන්දක
සෙවුවෙමි හද පිරි සෙනෙහස.....

මිතුරු කැළක හදවත් තුල
මාපිය සොහොයුරු දමකද
පියපති දූ දරු අතරෙද
සෙවුවෙමි පිවිතුරු බව.....


ජීවිතය සැනසුමද වින්දනය
සෙනේහය... පිවිතුරු බව
හමුවුණි සබඳ නිරතුරුව මට....

නමුදු
සෙවූමුත් ඔබ එහැම තැන
නොදිටි කිසි දින

කිම..........??????

“ඔබ ඔබම නොව මාය.”


සංසාරේ ඈත දිනෙක පුංචි මතකයක්

සිත සිසිල්කරවනා

මද අන්ධකාර මෙයාමයේ
නෙතු නැවතුනා නිසංසලේ
පීත වර්ණ මල් ඇතිරූ මාවතේ අද්දරින්
නුඹ සිටියා නිසොල්මනේ.......


සංසාරේ ඈත දිනෙක
පුංචි මතකයක්
සිත අද්දර ඉඟි කෙරුවා
ඒ නිමේෂයේ
මල බැඳි ගරාදි වැටට උඩින් පැන
දිව ආව විලස ස්වප්නයක මැවේ.............


දූලි වැකුණු සඳලුතල කොණේ
මකුලු වියමනක දැවටී මසිත සිරවුණේ

දෑඟිලි පටලා මිමිණු ඒ වදන්
සවන් පුරා දෝංකාර දේ..........


රුව නොපෙනෙන කැඩපත අයිනේ
පාද සළඹ දැක ඉකිබිඳුනේ
හුරතලේට කොමළ වදන් දෙඩුව ඒ
පුංචි කැකුළ මතක මායිමේ
බිත්ති පුරා ලීව කුරුටු ගී
පොතු ගැලවී මැකී නොයේ..........


ලොවම නිදන රාත්රි යාමයේ
සඳ සෙවන විඳි මතක මැවී පෙනේ
අන්ධකාර මේ නිමේශයේ
සී මැඳුරු පුරා තනිය නොම දැනේ.....


සංසාර මතක බැඳුණු මේ ඉමේ
විඳි සුවය අතැර පිටුපා යන්නේ
වැසු කවුලු පියන්පත් නුඹ දෙවොලේ
මා මතක සදා කල් රකිනු මැනේ.


Friday, August 27, 2010

ඔබ එතැයි මග බලා සිටින්නෙමි.....


එදා මෙන් අදත්
පිපුණාට ඇසළ මල්
මෙමග යන්නට
නුඹ නෑ ඉතින්...........


දෙඅත් පටලා
මුමුණ මුමුණා
ඇවිද යන්නේ යලිත්
කවදාද කියන්.........

එතෙක්
බලා සිටින්නේ
මා පමණක් නොවේ...

මාවතද මේ මල්ද තුරුපෙළද
සෙනෙහසින්...

Friday, August 20, 2010

ඔබ මගේ නම්...

මේ ඉරහඳ මගේ නම්

ඉරයි හඳයි ලොවට පුදා ඔබව පතමි මම්....
මේ ඇල දොළ මගේ නම්
දිය බිඳකුදු නොසඟවාන පවස නිවන්නෙම්..


සිසිල ගෙනෙන පවන් රැල්ල මගෙකෙස් රොද මුදා යන්න!
ඇඟිලි තුඩග සුව විඳින්න මොහොතක් මට ඉඩ හරින්න!

මේ වන පෙත මගේ නම්...
වනය සරන සියොත් කැලට සෙවන සදමි මම්..
මේ වැහි පොද මගේ නම්...
ඉඩෝරයේ මහී කතට සුවය ගෙනෙමි මම්..


සිත සනහන සොඳුරු දසුන් සිතිජ ඉමෙන් දුරට යන්න !
නෙතු කැල්මක සුව විඳින්න මගෙදෙනෙතට ඉඩ හරින්න!

මේ කඳුහෙල් මගේ නම්...
අහස පොළව යා කරන්න පෙත සකසමි මම්...
මේ රල පෙළ මගේ නම්...
වෙරළ සරන කුඩ මසුන්ට අහර ගෙනෙමි මම්......

වැයෙන මිහිරි ගී පද තනු මගෙ සවනින් දුරස් වෙන්න!
මුදු තෙපුලක දැවටෙන්නනට දැන්වත් මට ඉඩ හරින්න!


මේ මුලු ලොව මගේ නම්...
නුඹ පය රැඳි දුහුවිල්ලට ලොවම පුදමි මම්....
නුඹෙ හදවත මගේ නම්...
මගෙ පණ නල සැඟවෙන තුරු නුඹ සුරකිමි මම්....


සියලු දුක්ඛ දෝමනස්ස මගේ සිතින් පහව යන්න!
ගැබ සරසන නුඹේ පුතුට බිහිවෙන්නට ඉඩ හරින්න.


ඇය

නිශා කළ නිදි නොනිදි නෙත් කෙවෙනි
පාන් කළ කිරිත්තා දකින්නී
සීනි නැති මුත් කහට කෝප්පය
උදෑසන වේල සරිකරන්නී
ලිප් ගලට නොදැනෙන් පිසු රොටිය
මීදුමෙන් ඔතාගෙන දුවන්නී
ගම් දෑල සුව සිහින දකින යම
රබර්ගස් වට දෑත් යවන්නී.......
කාසියේ වාසියට නැමෙන ලොව
ඇගෙ දිවිය මංමුලා කරන්නී
දාහයෙන් ඉනූ සිල්ලර මල්ල
රකුසු දෙනෙතින් හනික හැලෙන්නී‍......

මහ මලේ උණුහුමින් ඈ හැදූ දූ පුතුන්
තල් වැටේ සීමාව රකින්නී
දහක් දන ඈ මගැර ඉවත යනු දැක සොවින්
රබර් යායටම කිරි එරෙන්නී.